ඉරාන ප්‍රහාර වලින් 4 දෙනෙකු මිය ගොස් 99 දෙනෙකුට තුවාල

iran

ඉරානය මධ්‍යම ඊශ්‍රායලයට එල්ල කර ඇති බැලැස්ටික් මිසයිල ප්‍රහාර වලින් අතර, අවම වශයෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තවත් 99 දෙනෙකු තුවාල ලබා තිබේ. ප්‍රහාර වලින් ලාංකික කාන්තාවක ද සුළු තුවාල ලබා ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කළේය.

ඊශ්‍රායලය ටෙහෙරානයට එල්ල කළ මිසයිල ප්‍රහාර වලින් පසු ඉරානය මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

ඉරාන රාජ්‍ය රූපවාහිනිය කියා සිටියේ ප්‍රධාන වශයෙන් ඊශ්‍රායලයේ ටෙල් අවිව් සහ හයිෆා නගර ඉලක්ක කර ගනිමින් මිසයිල 100ක් එල්ල කර ඇති බවයි.

ඉරාන ප්‍රහාර වලින් මධ්‍යම ටෙල් අවිව් මෙට්‍රොපොලිටන් ප්‍රදේශයක් වන බැට් යම් නගරයේ ගොඩනැගිලිවලට හානි සිදුව තිබේ.

මිසයිල ප්‍රහාරයෙන් බැට් යම් නගරයේ ගොඩනැගිල්ලකට සෘජුවම හානි සිදුවී ඇති ආකාරයත්, සුන්බුන් අතරින් තුවාල ලැබූවන් බේරා ගැනීමට සහන සේවා කණ්ඩායම් කටයුතු කරන ආකාරයත් වීඩියෝ දර්ශනවල දක්නට ලැබුණි.

මියගිය සිව්දෙනා අතර වයස අවුරුදු 60 ගණන්වල කාන්තාවක්, 80 ගණන්වල කාන්තාවක්, අවුරුදු 10 ක් පමණ වන පිරිමි ළමයෙකු සහ දැරියක් ද වේ.

මේ අතර, තුවාල ලැබූවන් 99 දෙනෙකුට ප්‍රතිකාර කරන බව ඊශ්‍රායලයේ හදිසි සේවා ඒකකය සඳහන් කළේය. තුවාල ලැබූවන්ගෙන් හතර දෙනෙක් බරපතල තත්ත්වයේ පසුවෙති.

ඉරාන බැලැස්ටික් මිසයිල ප්‍රහාර වලින් පසු ඊශ්‍රායලයේ බැට් යම්හි ශ්‍රී ලාංකික කාන්තාවක් සුළු තුවාල ලබා ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කළේය.

ඇයගේ තත්ත්වය බරපතල නොවන බව ඔහු පැවසීය.

මේ අතර, ඉරානයේ සහ ඊශ්‍රායලයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයින්ට කලාපීය තත්ත්වය හේතුවෙන් සුපරීක්ෂාකාරීව සිටින ලෙස ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය උපදෙස් දෙයි.

හදිසි සහාය සඳහා, පැය 24 පුරාම ඇමතිය හැකි දුරකතන අංක:

ඉරානයේ ටෙහෙරාන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය : +98 939 205 5161/ +98 991 205 7522 (Sinhala/English)/ +98 936 636 0260 3.

ඊශ්‍රායලයේ ටෙල් අවිව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය: (WhatsApp only): +94 71 844 7305/ +94 71 683 3513/ +94 71 974 2095

Leave a Reply

Your email address will not be published. Required fields are marked *