ඊශ්‍රායල ප්‍රහාරයෙන් මිය ගිය හොසේන් සලාමි?

salami

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) අණදෙන නිලධාරී හොසේන් සලාමි සිකුරාදා අලුයම එල්ල කෙරුණ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මිය ගිය අතර, එම ප්‍රහාරවලින් මියගිය ජේෂ්ඨතම ඉරාන හමුදා නායකයා ඔහු විය.

65 හැවිරිදි සලාමි, ඊශ්‍රායලයට සහ ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව දැඩි ස්ථාවරයක් දැරූ අයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියේය. ඉරානයට පහර දුන හොත් ”අපායේ දොරටු විවෘත කරන” බවට මෑතකදී ඔහු විසින් අනතුරු අඟවා තිබිණි.

න්‍යෂ්ටික ගිවිසුමක් සඳහා වන සාකච්ඡා කඩාකප්පල් නොකරන ලෙස ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් අනතුරු අඟවා තිබියදීත්, ඊශ්‍රායලය න්‍යෂ්ටික ස්ථාන සහ හමුදා නායකයින් ඉලක්ක කර ගනිමින් ඉරානයට ප්‍රධාන පෙලේ ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

ප්‍රහාරයට සම්බන්ධ නොවූ බව පවසන ඇමෙරිකා එක්සත් ජනපදය මෙන්ම ඊශ්‍රායලය මෙම ප්‍රහාරය සඳහා “බරපතල වන්දියක්” ගෙවනු ඇති බවට ටෙහෙරානය අනතුරු අඟවා ඇති අතර, මෙය දැනටමත් කලාපය තුළ පුළුල් යුද්ධයක් කරා රැගෙන යනු ඇති බවට වන බිය මතු කරයි.

ඊශ්‍රායලයේ ප්‍රහාරවලින් ඉරාන සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මොහොමඩ් බගෙරි, ඉරාන සන්නද්ධ හමුදාවේ නියෝජ්‍ය අණදෙන නිලධාරී ගොලමලි රෂීඩ් සහ න්‍යෂ්ටික විද්‍යාඥයින් කිහිප දෙනෙකු ද මිය ගියහ.

ප්‍රහාරයට දින කිහිපයකට පෙර සලාමි පැවසුවේ ඉරානය ඕනෑම තත්වයකට මුහුණ දීමට සම්පූර්ණයෙන්ම සූදානම් බවයි.

“ඊශ්‍රායල වටලෑමකට ලක්ව සිටින අසරණ පලස්තීනුවන්ට එරෙහිව සටන් කරන ආකාරයටම ඉරානයට එරෙහිව සටන් කළ හැකි යැයි සතුරා සිතනවා, නමුත් අපි යුද්ධයේදී ශක්තිමත් සහ පළපුරුදු අයයි.” ඔහු පැවසිය.

සලාමි 1980 දී ඉරාන-ඉරාක යුද්ධයේදී විප්ලවවාදී ආරක්ෂක බළකායට සම්බන්ධ වූ අතර, 2009 දී නියෝජ්‍ය අණදෙන නිලධාරියෙකු ලෙස සහ 2019 දී අණදෙන නිලධාරියා බවට පත්විය.

2000 ගණන්වල සිට, ඉරානයේ න්‍යෂ්ටික සහ හමුදා වැඩසටහන්වල ඔහුගේ භූමිකාව හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඇමරිකා එක්සත් ජනපදය ඔහුට සම්බාධක පැනවීය.

ඉරාන හමුදාව ශක්තිමත් බවත්, එම රට ලෝක බලවතෙකු වීමට ආසන්න බවත් සලාමි ආඩම්බරයෙන් පැවසීය.

ඔහු ඊශ්‍රායලය සහ ඇමරිකා එක්සත් ජනපදය සමඟ සටන් කිරීමේ අදහසට සහාය දුන් අතර, 2019 දී සිරියාවේ පිහිටි ඉරාන ඉලක්ක වෙත එල්ල කෙරුණ ඊශ්‍රායල ප්‍රහාරයකින් පසු, දේශපාලන සිතියමින් “සියොන්වාදී පාලනය අතුගා දමන බවට” ඔහු පොරොන්දු විය.

පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී සිරියාවේ ඉරාන තානාපති කාර්යාලයට එල්ල වූ තවත් ප්‍රහාරයකින් ජෙනරාල්වරුන් දෙදෙනෙකු ඇතුළු විප්ලවවාදී ආරක්ෂක බලකායේ භටයින් හත් දෙනෙකු මිය ගිය පසු, සලාමි ද ඒ හා සමාන අනතුරු ඇඟවීමක් කරමින් කියා සිටියේ “අපගේ නිර්භීත මිනිසුන් සියොන්වාදී පාලනයට දඬුවම් කරනු ඇත.” යනුවෙනි.

1979 ඉරාන විප්ලවය තෙක් ඉරානය සහ ඊශ්‍රායලය මිත්‍ර පාක්ෂිකයින් වූ අතර, ඉන් පසුව නව පාලනය ඊශ්‍රායලයට විරුද්ධ වීම ඔවුන්ගේ විශ්වාසයන්ගේ ප්‍රධාන අංගයක් බවට පත් විය.

ඉරානයේ වත්මන් පාලනය ඊශ්‍රායලයේ පැවැත්මේ අයිතිය පිළිනොගනී. ඊශ්‍රායලය ” පිළිකාවක්” ලෙස හැඳින්වූ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි එය “නිසැකවම උදුරා දමා විනාශ කරන බව”පැවසුවේ ය.

ඊශ්‍රායලය පැවසුවේ ඉරානය ප්‍රධාන තර්ජනයක් ලෙස සලකන්නේ ඔවුන්ගේ සතුරු භාෂාව සහ ඊශ්‍රායලය විනාශ කිරීමට ඉලක්ක කරගත් හිස්බුල්ලා වැනි කණ්ඩායම් සඳහා සහයෝගය දැක්වීම නිසා බවයි.

සලාමි සහ විප්ලවවාදී ආරක්ෂක බළකායේ අනෙකුත් ජේෂ්ඨ නිලධාරීන් ඉරානයේ උත්තරීතර නායකයාට නිතිපතා උපදෙස් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *