ලෝක රන් මිල වාර්තාගත ලෙස ඉහළට

රන් මිල

ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් අමෙරිකාව සහ යුරෝපය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික අර්බුදය තීව්‍ර වීමත් සමග, ලෝක වෙළෙඳපොළේ රන් මිල අද (21) ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 4,800 සීමාව පසුකරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමටයි සමත්ව ඇත්තේ.

අද දින වෙළඳාම ආරම්භයේදීම රන් මිල සියයට 1.7කින් ඉහළ ගිය අතර, ස්පොට් රන් (Spot Gold) අවුන්සයක මිල ඩොලර් 4,844.39ක් ලෙස සටහන් වුණා.

මෙම සතිය තුළ පමණක් රන් මිල සියයට 5කට වඩා වැඩි වර්ධනයක් පෙන්නුම් කර තිබීම විශේෂත්වයක්.

මීට අමතරව රිදී මිල ද අවුන්සයකට ඩොලර් 95 සීමාව දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එසේම ලෝක වෙළෙඳ යුද්ධයක් පිළිබඳ පවතින බිය සහ අමෙරිකානු ඩොලරයේ අගය සුළු වශයෙන් පහත වැටීම හේතුවෙන් ආයෝජකයින් රන් වැනි සුරක්ෂිත වත්කම් වෙත යොමුවීම රන් මිල මෙලෙස ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ, මෙම දේශපාලන අස්ථාවරත්වය දිගටම පැවතියහොත් රන් මිල ඉදිරියේදී ඩොලර් 5,000 සීමාව කරා ළඟා වනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *