බේරුවල ප්‍රදේශයේ පාසල් දෙකක් අතර ගැටුමකින් සිසුන් 7ක් රෝහලේ
බේරුවල අධ්‍යාපන කලාපයට අයත් වලතර මහා විද්‍යාලයේ හා අලුත්ගම පාදාගොඩ මහා විද්‍යාලයේ පාසල් සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් ඇතිවූ පහරදීමකින් සිසුන් හත් දෙනෙකු ඊයේ (05) කළුතර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි අලුත්ගම පොලිසිය සඳහන් කරනවා.
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් සඳහා අලුත්ගම පාදාගොඩ මහා විද්‍යාලයේ දී ඉතිහාසය විෂය සම්බන්ධයෙන් පවත්වන ලද සම්මන්ත්‍රණයකට සහභාගි වූ බේරුවල වලතර මහා විද්‍යාලයේ සිසුන් පිරිසකට මෙසේ පාදාගොඩ මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් පහර දුන්නැයි කියමින් වලතර මහා විද්‍යාලයේ ගුරුවරියක් විසින් මෙම පැමිණිල්ල අලුත්ගම පොලිසියට ඉදිරිපත් කරනු ලැබ තිබුණා.
එම සම්මන්ත්‍රණය අතරතුර ඇති වූ කතාබහකින් පසු පාදාගොඩ මහා විද්‍යාලයේ සිසුන් මෙසේ වලතර මහා විද්‍යාලයේ සිසුන්ට පහරදී ඇති බවට කරුණු ඉදිරිපත් වී ඇතැයි පොලිසිය සඳහන් කරනවා.
පාදාගොඩ මහා විද්‍යාලය ආසන්නයේදී මෙම පහරදීම සිදුව ඇති බව ද පොලිසිය පවසනවා.
මෙම පහරදීම සඳහා පාදාගොඩ ප්‍රදේශයේ වෙනත් පුද්ගලයින්ද සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, පහර කෑමෙන් තුවාල ලැබූ සිසුන් හත් දෙනකු මේ වන විට කළුතර ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය සඳහන් කරනවා.
මෙම පහරදීමෙන් සිසුවකුගේ හිසට සිදුවූ පහර දීමක් හේතුවෙන් ඔහු ශල්‍යකර්මයකට ද භාජනය කිරීමට නියමිතව ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.
