T20 ලෝක කුසලාන තරගාවලිය අද සිට
14 වසරකට පසු ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාලෝලීන්ට මෙරටදී පන්දුවාර 20 ලෝක කුසලාන තරග නැරඹීමේ අවස්ථාව උදා කරමින් 2026 පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය අදින් (07) ආරම්භ වනවා.
මෙවර පන්දුවාර 20 ලෝක කුසලානය වෙනුවෙන් සම සත්කාරකත්වය ලබාදෙන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාවයි.
තරගාවලිය ආරම්භ කරමින් අද උදෑසන 11.00ට පාකිස්ථානය සහ නෙදර්ලන්තය කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී තරග වැදීමට නියමිතයි.
ඒ අනුව එම තරගය නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
ඊට අමතරව කොළඹ ආර්.ප්‍රේමදාස සහ මහනුවර පල්ලෙකැලේ යන ක්‍රිකට් ක්‍රීඩාංගණවල ලෝක කුසලාන තරග 20ක් පමණ පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
ශ්‍රී ලංකාවට අමතරව ඔස්ට්‍රේලියාව, සිම්බාබ්වේ, අයර්ලන්තය, ඕමානය සහ පාකිස්තානය මූලික වටයේ සියළුම තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනු ඇති.
එමෙන්ම, අද පස්වරුවේ ඉන්දියාවේදීද තවත් තරග දෙකක් පැවැත්වෙන අතර, කොල්කටා හිදී ස්කොට්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත් මුම්බායිහිදී ඉන්දියාව සහ ඇමරිකානු කණ්ඩායමත් තරග වැදීමට නියමිතයි.
මේ අතර පන්දුවාර 20 ලෝක කුසලාන ශ්‍රි ලංකා සංචිතයට එෂාන් මාලිංග වෙනුවට ප්‍රමෝද් මදුෂාන් ආදේශ කිරීමට සිය තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිවූ බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළා.
එෂාන් මාලිංග පසුගිය එංගලන්ත විස්සයි විස්ස තරගාවලිය අතරතුර උරහිසේ ආබාධයකට ලක්ව තිබුණා.
ලෝක කුසලාන තරගාවලියේ පූර්ව සංවිධාන කටයුතු මේ වන විට අවසන්ව ඇති අතර, තවදුරටත් ක්‍රීඩාලෝලීන්ට ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රවේශපත්‍ර කවුළු මෙන්ම අන්තර්ජාලය ඔස්සේ ද ඊට ඉඩකඩ සලසා තිබෙනවා. එහිදී එක් පුද්ගලයෙකුට ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැක්කේ හතරක් පමණයි.
පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය හේතුවෙන් අද විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක කර තිබෙනවා.
තරගාවලියේ තරග නැරඹීම සඳහා පැමිණෙන දේශීය හා විදේශීය ක්‍රීඩාලෝලීන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 1500ක් සහ රථවාහන නිලධාරීන් 600ක් යොදවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එසේම ප්‍රේක්ෂකයින් ක්‍රීඩා භුමිය තුළට විශාල ප්‍රමාණයේ ගමන්මළු, විදුරු බෝතල්, ඩ්‍රෝන උපකරණ, කුඩා මුවහත් පිහි, මත්ද්‍රව්‍ය හා මත්පැන් ක්‍රීඩා භූමියට රැගෙන ඒම තහනම් බව පොලිසිය පවසනවා.
