තෙල් පිරවුම්හල් අධීක්ෂණයත් අද සිට – කිව් ආර් නැතිව ඉන්ධන නිකුත් කළොත් බලපත්‍රත් අවලංගුයි

images

ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය හරහා ඉන්ධන කෝටාව ලබාගැනීමේ කිව් ආර් කේත ක්‍රියාවලිය සම්බන්ධයෙන් පැන නගින ඕනෑම ගැටලුවක් හෝ අමතර තොරතුරු දැන ගැනීම සදහා 1919 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ තොරතුරු කේන්ද්‍රය ඇමතිය හැකි බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙනවා.

එම අමාත්‍යංශය සදහන් කළේ, ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය හරහා ඉන්ධන කෝටාව ලබාගැනීමේ කිව් ආර් කේත ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම මේ වන විට යථා තත්ත්වයට පත්ව ඇති බවයි.

ඒ අනුව, තමන් අයත් වන කාණ්ඩය හඳුනාගෙන කිව් ආර් කේතය භාවිතයෙන් ඉන්ධන ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි එම අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

එහිදී දැනටමත් කිව් ආර් කේතයක් හිමි, වාහනයේ අයිතිය සහ ලියාපදිංචි කළ දුරකථන අංකයෙහි කිසිදු වෙනසක් සිදු නොවූ රථ වාහන හිමියන්ට, තමන් සතු එම පැරණි කිව් ආර් කේතයම ඉදිරිපත් කර බාධාවකින් තොරව ඉන්ධන ලබාගත හැකියි.

මීට පෙර ලියාපදිංචි වී ඇති නමුත්, කිව් ආර් කේතය අස්ථානගත වී හෝ දුරකථනයෙන් එය ඉවත් වී ඇත්නම්, එනම් දුරකථන අංකය සහ රථ වාහන තොරතුරු නොවෙනස්ව පවතීනම් නැවත ලියාපදිංචි වීම අවශ්‍ය නොවන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය පෙන්වා දෙනවා.

ඒ අනුව කළ යුත්තේ අදාළ පද්ධතියට ඇතුල් වී ජංගම දුරකථනයට ලැබෙන ඕ.ටී.පී. කේතය මගින් නැවතත් සිය කිව් ආර් කේතය ලබා ගැනීමයි.

මේ අතර, මීට පෙර ලියාපදිංචි නොවූ පුද්ගලයන්, තම වාහනය අලු‍තින් මිලදී ගත් පුද්ගලයන් හෝ මීට පෙර ලියාපදිංචි කළ දුරකථන අංකය දැනට භාවිත නොකරන පුද්ගලයන් මෙම පද්ධතියේ අලු‍තින් ලියාපදිංචි වීම අනිවාර්ය වනවා.

කිව් ආර් කේතයක් හරහා ඉන්ධන බෙදා හැරීමේ ක්‍රමවේදය පළමු වරට මෙරටට හදුන්වා දුන්නේ 2022 වසරේ අගෝස්තු මාසයේදීයි.

ඒ කොරෝනා වසංගතයත් සමග මෙරට මුහුණදුන් ආර්ථික අර්බුදය හමුවේ මතුවූ ඉන්ධන හිඟයත් සමඟයි.

2023 වසරේ සැප්තැම්බර් මාසයේදී කිව් ආර් ක්‍රමවේදය ඉවත් කිරීමට පියවර ගැණුනු අතර එය යළි ක්‍රියාත්මක වන්නේ වසර 3 කට පසුවයි.

කෙසේ වෙතත්, කිව් ආර් ක්‍රමවේදය ඊයේ පෙරවරුවේ ක්‍රියාත්මක කරන බවට නිවේදනය කිරීමත් සමග දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝළිම් දක්නට ලැබුණා.

මේ අතර, කිව් ආර් ක්‍රමවේදයට පිටින් ඉන්ධන නිකුත් කරන පිරවුම්හල්වල බලපත්‍ර අවලංගු කරන බව ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ පිරවුම්හල්වලට නිකුත් කරන තොග සහ කිව් ආර් ක්‍රමවේදය යටතේ නිකුත් කෙරෙන තෙල් ප්‍රමාණයේ වෙනස සොයා බැලීමට අද සිටම විමර්ශන අරඹන බවයි.

කිව් ආර් කේතය නැවත ඉන්ධන පිරවුම්හල් වෙත හඳුන්වාදීමත් සමග ඉන්ධන පිරවුම්හල් අසලට පොලිස් ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, පිරවුම්හල් ආශ්‍රිතව ඇතිවන රථවාහන තදබදය පාලනය කිරීම සඳහායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *