සැප්තැම්බර් 15 සිට ශ්‍රී ලාංකිකයන්ටද තායිලන්තයේ ‘වීසා නොමැතිව ඇතුළු වීමේ’ සහනය අහෝසි වෙයි

images (63)

ලබන සැප්තැම්බර් 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි තායිලන්තයේ ‘වීසා රහිතව ඇතුළු වීමේ’ සහනය ශ්‍රී ලාංකික ගමන් බලපත්‍ර හිමියන්ට තවදුරටත් හිමි නොවන බවට තොරතුරු වාර්තා වෙනවා.

තායි රජය විසින් හඳුන්වා දී ඇති නව සංශෝධිත ඇතුළුවීමේ රෙගුලාසි යටතේ මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ සංශෝධිත වීසා නිදහස් කිරීම් සහ පැමිණීමේදී ලබාදෙන වීසා සම්බන්ධ නව ක්‍රමවේද අගෝස්තු 31 වනදා එරට රාජ්‍ය ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති බවයි.

පසුගිය මැයි මාසයේදී තායිලන්ත කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද සමාලෝචනයකට අනුව මෙම වෙනස්කම් සිදු කර තිබෙනවා.

ඒ අනුව, මීට පෙර පැවති දින 60 ක වීසා රහිතව රැඳී සිටීමේ සහනය අහෝසි කර ඇති අතර, කෙටි කාලීන සංචාර සඳහා වීසා නොමැතිව ඇතුළු විය හැකි රටවල නාමලේඛනය ද සංශෝධනය කර ඇති බව සඳහන්.

ජාතික ආරක්ෂාව, සංචාරක හා ආර්ථික අභිලාෂයන්, ද්විපාර්ශ්වික අන්‍යෝන්‍ය ප්‍රතිලාභ, අතිරේක වීසා සහන අවම කිරීම සහ තායිලන්තයේ ඉලෙක්ට්‍රොනික වීසා (e-Visa) පද්ධතියේ භාවිතය යන කරුණු සලකා බලමින් තායි රජය මෙම තීරණයට එළඹ තිබෙනවා.

නව රෙගුලාසිවලට අනුව, සැප්තැම්බර් 15 වනදායින් පසුව තායිලන්තය බලා පිටත්ව යන ශ්‍රී ලාංකිකයන් ගමනට පෙර සුදුසු වීසාවක් ලබා ගැනීම අනිවාර්යයි.

ඒ සඳහා තායිලන්තයේ මාර්ගගත e-Visa පද්ධතිය හරහා වීසා අයදුම්පත් යොමු කළ හැකි අතර කොළඹ පිහිටි රාජකීය තායි තානාපති කාර්යාලය ද සැප්තැම්බර් 4 වනදා නිකුත් කළ නිවේදනයක් මගින් මෙම “නව වීසා පියවර” පිළිබඳව දැනුවත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, පවතින වීසා සහන ක්‍රමය යටතේ සැප්තැම්බර් 15 වනදාට පෙර තායිලන්තයට ඇතුළු වන ශ්‍රී ලාංකික සංචාරකයින්ට තායි ආගමන විගමන බලධාරීන් විසින් අවසර ලබා දී ඇති කාලසීමාව අවසන් වන තෙක් එරට රැඳී සිටීමට අවස්ථාව හිමිවෙන බවයි වාර්තා වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *