ඉන්දියාවේ ප්‍රකට සමාගම් රැසක ප්‍රධානීන් ආයෝජන සොයන්න දිවයිනට
ශ්‍රී ලංකාවේ බලශක්ති, යටිතල පහසුකම්, ඩිජිටල් ආර්ථිකය, සංචාරක, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්රවල මෙන්ම ව්‍යවසායකයන්ගේ ධාරිතා වර්ධනයට අදාළ නව ආයෝජන අවස්ථා පිළිබඳව තම අවධානය යොමුව ඇති බව ඉන්දියානු ව්‍යවසායකයන් ප්‍රකාශ කළා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දියානු ආයෝජකයින් අතර පැවති හමුවේදීයි.
ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව, මෙරට පවතින ආයෝජන අවස්ථා තවදුරටත් වර්ධනය කර ගැනීම සහ නව ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමේ අරමුණින් ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ ව්‍යවසායකයින් 20 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙරට සංචාරයක නිරත වනවා.
ඒ අතරතුරයි ඔවුන් ජනාධිපතිවරයා හමුවී තිබුණේ. ශ්‍රී ලංකාව තුළ ඇතිව තිබෙන ආර්ථික ස්ථාවරත්වය සමඟ ආයෝජකයින්ට වඩා සුදුසු පසුබිමක් රට තුළ නිර්මාණය වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී සඳහන් කර තිබෙනවා.
රට තුළ පවතින යහපත් ආර්ථික තත්ත්වය සහ ආයෝජනයන්ට හිතකර පසුබිම නිර්මාණය කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳව මෙහිදී ඉන්දීය ව්‍යවසායකයින් දැනුවත් කළ ජනාධිපතිවරයා මහා පරිමාණ ආයෝජන සහ ඒවා පවත්වාගෙන යාමට අවශ්‍ය නෛතික පසුබිම මෙන්ම ආයතනික පද්ධතියද ශක්තිමත් කර ඇති බවත් සදහන් කළා.
ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම ආයෝජකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක්ව ඇති බව මෙහිදී පැවසූ ඉන්දීය ව්‍යවසායකයෝ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා සිදුකළ පැහැදිළි කිරීම අගය කරමින්, එයින් තමන් තුළ දිරි ගැන්වීමක් මෙන්ම නව බලාපොරොත්තුවක් ඇති වූ බවද ප්‍රකාශ කර තිබෙනවා.
