තැපැල් වර්ජනය තවදුරටත්

ඉල්ලීම් 19ක් මුල් කරගනිමින් තැපැල් සේවකයින් විසින් ආරම්භ කළ වර්ජනය 06 වන දිනටත් අද ක්‍රියාත්මකයි.
ඔවුන් මෙම වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන්නේ සේවයට නොපැමිණෙන සියලු තැපැල් සේවකයින් තනතුරු අතහැර ගියා සේ සළකා කටයුතු කරන බවට තැපැල්පතිවරයා නිවේදනයක් නිකුත් කර ඇති පසුබිමකයි.
මෙම වර්ජනය හමුවේ මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගැසී තිබු තැපැල් භාණ්ඩ තොගයක් යුද හමුදා ලොරි රථ උපයෝගි කර ගනිමින් ඊයේ පස්වරුවේ මඩකලපුව සහ කෑගල්ල බලා පිටත් කර යැවුණා.
ඒ, යුද හමුදා සහ කැරලි මර්දන කණ්ඩායම්වල දැඩි ආරක්ෂාව මධ්‍යයේයි.
කෙසේ වෙතත්, තැපැල් වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ මේ ආකාරයෙන් තැපැල් භාණ්ඩ ප්‍රවාහනය මගින් ජනතාවගේ පෞද්ගලිකත්වයට බලපෑම් ඇති විය හැකි බවයි.
වර්ජනය හේතුවෙන් ලිපි සහ පාර්සල් රැසක් කොළඹ මධ්‍ය තැපැල් හුවමාරුවේ ගොඩ ගැසී තිබෙන අතර එම පරිශ්‍රයට ඊයේ පොලිස් ආරක්ෂාව ද යොදවා තිබුණා.
කෙසේ වෙතත්, සිය ඉල්ලීම්වලට රජය තවමත් නිසි විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් තැපැල් වෘත්තීය සමිති ඊයේ පෙරවරුවේ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට සත්‍යග්‍රහයක් ද ආරම්භ කළා.
ඒ අතරතුර මධ්‍යම තැපැල් හුවමාරුවේ සිට තැපැල් මලූ තොගයක් ප්‍රවාහනය කිරීමට තැපැල් බලධාරින් උත්සහ කිරීමත් සමග ඊට වෘත්තිය ක්රීයාමාර්ගයේ නිරත සේවකයින්ගෙන් විරෝධයක් එල්ල වුණා.
කෙසේ වෙතත් මධ්‍ය තැපැල් හුවමාරුවේ සිරවී තිබෙන ලිපි සහ පාර්සල් පිටත ප්‍රදේශවල පර්යන්තවලට රැගෙන ගොස් බෙදා හැරීම ඊයේ පස්වරුවේ සිදු කෙරුණේ දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේයි.
මේ අතර, කොළඹ ඊයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් නියෝජ්‍ය තැපැල්පතිනි චමීෂා ද සිල්වා කියා සිටියේ වර්ජනය හේතුවෙන් මේ වන විට මිලියන 120ක පාඩුවක් සිදුව ඇති බවට අනුමාන කරන බවයි.