හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ රිමාන්ඩ්

රනිල්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර විසින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග තිබෙනවා.

ඒ ඔහුව අද (22) පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වන අතර, එහිදී හිටපු ජනපතිවරයා ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.

ඒ අනුව, හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන යෑමට නියමිත අතර, එහිදී වෛද්‍ය පරීක්ෂණයකටද ලක් කෙරෙනු ඇති.

2023 වර්ෂයේ දී නිල සංචාරයකට ගොස් ආපසු එන අතරතුර එංගලන්තයේ පැවති තම බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා රාජ්‍ය අරමුදල් භාවිතා කළ බව කියන සිදුවීමකට අදාළව කෙරෙන විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනපතිවරයා අද පෙරවරුවේ අපරාධ ප‍රීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය වෙත පැමිණි අතර, එහිදී ඔහු අත්අඩංගුවට ගැනුනා.

මෙරට ඉතිහාසයේ පළමු වතාවට ජනපතිවරයෙක් හෝ හිටපු ජනපතිවරයෙක් අත්අඩංගුවට පත්වීම මෙන්ම රක්ෂිත බන්ධනාගාර ගත වීම මෙය වීමද විශේෂත්වයක්.

2023 වසරේ සැප්තැම්බර් 22 සහ 23 දිනවල සිදුවූ ඉහත සඳහන් සංචාරයේදී හිටපු ජනපතිවරයා සමග පුද්ගලයින් දස දෙනෙක්ද සහභාගි වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, අදාළ විමර්ශනයට මීට පෙර හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගෙන් සහ හිටපු ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරාගෙන්ද මින් පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගැනීමටද පියවර ගනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *