වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අද ප්‍රකාශයට; බස් හිමියන් ගාස්තු වැඩිවීමක් ඉල්ලයි

අද (01) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ 2.5% වාර්ෂික බස් ගාස්තු අඩු කිරීමේ තීරණය ක්‍රියාත්මක නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජෙනරාල් නයෝමි ජයවර්ධන ප්‍රකාශ කළා.
කෙසේවෙතත් ඇය කියා සිටියේ බස් ගාස්තු සම්බන්ධයෙන් අවසන් තීරණය පස්වරුවේ ප්‍රකාශයට පත් කරන බවයි.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහල ගිය අතර, ඒ අනුව එම මිල වැඩිවීම බස් ගාස්තු සංශෝධනය හා ගැලපිය යුතු බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජෙනරාල්වරිය කියා සිටියේ.
මීට පෙර ජාතික ගමනාගමන කොමිෂන් සභාව කියා සිටියේ අද සිට 2.5%ක ගාස්තු අඩු වීමක් සිදු කරන බවයි.
එහෙත් එම තීරණයට බස් සංගම විරෝධය පළ කළා.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ ඊයේ රාත්‍රියේ සිට ඉන්ධන මිල වැඩි වීමත් සමග බස් ගාස්තු වැඩි වීමක් අපේක්ෂා කරන බවයි.