සබරගමු මහ සමන් දේවාලයේ නිලවරණය 20 දා

සබරගමු මහ සමන් දේවාලයේ

සාම්ප්‍රදායට ගරු කරන රත්නපුරේ පුරවැසියෙකු ඓතිහාසික සබරගමු මහා සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා වශයෙන් තෝරා පත් කරගත යුතු බව එම දේවාලයේ පාරම්පරික නිත්‍ය රාජකාරී මණ්ඩලය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

එළඹෙන 20 වනදා මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරාගැනීමේ නිලවරණය පැවැත්වීමට නියමිතයි.

සබරගමුව මහා සමන් දේවාලයේ බස්නායක නිලමේවරයාගේ ධුරකාලය අවසන්වීම හේතුවෙන් ස්ථිර බස්නායක නිලමේවරයෙකු පත්කරන තෙක් තාවකාලිකව එම තනතුරේ කටයුතු ආවරණය කිරීම සදහා එස්.වී. චන්ද්‍රසිංහ පත්කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා මීට පෙර කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් එම පත්කිරීමට විරෝධය පළ කරමින් කපු මහතුන් ඇතුළු රාජකාරි මණ්ඩලය තේවාවන් සහ රාජකාරි වලින් ඉවත් වුණා.

ඔවුන් චෝදනා කළේ, මෙම පත්කිරීම සම්ප්‍රදායට එරෙහිව සහ දේශපාලන වුවමනාවන් මත සිදු කර ඇති බවටයි.

එවන් පසුබිමකයි බස්නායක නිලමේවරයෙකු තෝරා ගැනීමට අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවේ.

කෙසේ වෙතත්, එම අධිකරණ කටයුතුවලින් පසු එළඹෙන 20 වනදා සබරගමු මහා සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරාගැනීමේ නිලවරණය පැවැත්වෙනු ඇති.

ඒ අනුව, කිසිදු බලපෑමකින් තොරව බස්නායක නිලමේවරයා තෝරාපත් කරගත යුතු බවටයි එම දේවාලයේ පාරම්පරික නිත්‍ය රාජකාරී මණ්ඩලය රත්නපුරේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *